Saturday, April 11, 2020

හෙළ තාක්ෂණය- 06 වන කොටස (හෙළ වෙදකම )




මං කතා කරන්න යන්නෙ මේ විශ්වයේ තියෙන බලවත්ම වෙදකම ගැන. හැමෝම හැමදාම කියන දේවල්වලින් ටිකක් ඔබ්බට ගිහින් හෙළ වෙදකමේ වැදගත් දේවල්වලින් අංශු මාත්‍රයක් මං මෙහෙම ගෙන හැර දක්වන්නම්...



හෙළ වෙදකම ඉතාමත් පැරණි වෛද්‍ය විද්‍යාවක් වන අතර හෙළයන්ගේ විද්‍යාවන්වලින් එක් විද්‍යාවක්. මෙය එක් එක් කාලයන් වලදී පහළ වූ ශ්‍රේෂ්ඨයන් විසින් දියුණු කරනු ලැබුවා. ඒ මහා රාවණ රජු, පුලස්ථි ඍෂි තුමා, බුද්ධදාස රජු, මහා පරාක්‍රමබාහු රජු ආදීන් විසිනි. මිනිසාට අවශ්‍ය ආහාර මෙන්ම මිනිසාට සෑදෙන සියලුම ලෙඩ රෝගවලට ඖෂධ සොබාදහමේ ගස්වැල්වලින්ම ලබා දෙන බව අතීත හෙළයා අවබෝධ කරගෙන සිටියා. ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රයත් හෙළ වෙදකම සමඟ තදින්ම බැදී තිබෙන දෙයක්. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රය නැතුව හෙළ වෙදකමටද, හෙළ වෙදකම නැතුව ‍යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රයටද පැවැත්මක් නැත. ඔබ දන්නවා බන්ධනයක් කළ අයෙකුට මන්ත්‍ර ශාස්ත්‍රය ආධාරයෙන් එය ඉවත් කළද බඩේ ඇති දෙයක් ඉවත් කිරීම සඳහා ඇඹුල්පහ දෙනු ලබනවා, එසේ හෙළ වෙදකම සහ මන්ත්‍ර ශාස්ත්‍රය බැදී පවතිනවා. හෙළ වෙදකම ගත්තාම,


• සර්වාංග වෙදකම
• සර්ප වෙදකම
• කැඩුම් බිදුම් වෙදකම
• ඔඩුවන් පිලිකා වෙදකම
• දැවුම් පිළිස්සුම් වෙදකම
• විදුම් පිළිස්සුම් වෙදකම
• කැපුම් තුවාල වෙදකම
• ඇස් වෙදකම
• උමතු රෝග වෙදකම
• චර්ම රෝග වෙදකම
• නිල වෙදකම



ආදී වශයෙන් හෙළ වෙදකම කොටස් කිහිපයකට බෙදී පවතිනවා. ඒ වගේම කියන්න ඕනේ හෙළ වෙදකම සමඟද අපේ ඉපැරණි කාව්‍යත්වය බැඳී තිබුණා. එම බැඳීමද හෙළ වෙදකමට ගෙන ආවෙ කතාකර නිමකරන්නට නොහැකි තරමේ සුන්දරත්වයක්. ඒ වගේ කවි ටිකක් රස විදින ගමන් හෙළ බෙහෙත් වට්ටෝරු කිහිපයක් ඉගෙනගමු...


දසමූල හාතවාරිය බේත් එඬරු එරමුසු                             ගන්නේ
ත්‍රිපළුත් ලශුනද රසකිඳ සහ ඉරිවේරිය සමකර                 ගන්නේ
චාපය වැඩි නම් සවිඳ ලුණුත් සහ අඩු වී නම් මී පැණි       ගන්නේ
තිරසර බේතකි රක්ත චාපයට පැවසූ ඉසිවර පෙර           උන්නේ


මෙම කෂායෙහි විශේෂත්වය නම් අධි රක්ත පීඩනයට අවරක්ත පීඩනයට ද මෙය යෙදිය හැකි වීමයි.
දසමූළ – හාතවාරිය, ඉදිබොඩ, එඬරු මුල්, එරමුසු   – ත්‍රිඵල් – රසකිඳ, ඉරිවේරිය යන මෙම ක්ෂාය රුධිර පීඩනය වැඩි රෝගීන්ට සවිඳ ලුණු ලා දිය යුතුය. රක්ත පීඩනය අඩු නම් මී පැණි දමා දිය යුතුයි.



දරු ප්‍රසූතියෙන් පසුව හටගැනෙන වැදුගෙයි සන්නියට දේශීය කෂායක් කවියෙන් දක්වා ඇත්තේ මෙසේ ය.


මුල්ගෙන නිඹ කුඩුමිරි මදු                                                   රෙන
කොල්ලුද වදකහ ත්‍රිඵලුත්                                            ඉඟුරෙන
ඇල්ලීනම් වැදුවත් සන්නිය                                                 දැන
කල්දැන ක්ෂාය කරදෙනු වන                                           මෙන

මෙම කෂායෙහි ද්‍රව්‍ය සංයෝගයට අනුව වැදුගෙයි සන්නියට පමණක් නොව සියලුම සන්නි රෝගවලට මෙන්ම පක්ෂාගාත මුල් අවස්ථාවට ද යෙදිය හැක.
නිකමුල්, කොහොඹ මුල්, කුඩුමිරිස්, මදුරුතලා, කොල්ලු වද කහ, අරළු, බුළු, නෙල්ලි, වියළි ඉඟුරු මෙම කෂායට ඇතුළත් ය.



අර්ශස්, ගුල්ම, උදාවර්ථ යන රෝගයන්ට විරේක වීමට දෙන කෂායක් කවියෙන් දක්වා ඇත්තේ මෙසේ ය.


ගුල්ම. උදාවර්ථ දුටොත් තිප්පිලි අරලුද                        ලශූණා
මුල් කරදේ පොතු, එඩරුත් සමව ගෙනා                කෂායෙනා
යවකර සිඳ ලුණු දමමින් දුනහොත් පානෙන්              පෙමිනා
ගුණකර සැප දෙයි සිරුරට විරේක වීමෙන්                   නිසිනා



මෙහි අන්තර්ගත ද්‍රව්‍ය වන්නේ  තිප්පිලි අරළු සුදු ලූණු. කරඳ පොතු, එඬුරු මුල්ය.  මෙයට යවකර ලුනු හා සවිඳ ලුණූ එක්කර දිය යුතුය.



කිවි රෝග සඳහා යොදන කල්කයක්  කවියෙන් දක්වා ඇත්තේ මෙසේය.



පණුවැන්  ලශූනු සුගුමහ  ඔසු කුඹුරු                                  ඇට
ලුණුවරණතත් සහ අඹරා කල්ක                                     කොට
දෙනු කල්කය ලා අමු ඉඟුරු                                             යුෂට
පණු ගුල්මත් කුසරදය  ද නැත                                      මොහුට



වෙනිවැල් ගැට සුදු ළුෑනු පෙරුම්කායම්, ඉඟුරු, කුඹුරු ඇට මද ලුණු වර්ණ පොතු අඹරා කල්ක කර කළං 1/2 භාගය බැගින් අමු ඉඟුරු යුෂ දියකර දීමෙන් පණුවන් හේතුවෙන් එන සියලු කුස රුදා පහව යයි.



ගර්භනින්ගේ  ගැබ ආරක්ෂා කර ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රමයේ කෂාය යෝගයන්  රාශියක් දැකිය හැක. අවසන් වශයෙන් මෙයින් එක් යෝගයක් මෙසේ දක්වමි.


ඉවද පැපිලියක කසබිලිය සඳුන් බෙලි දුන්                          සඳ
ගැබද රැකෙනුව ආමනසමින් ගැබිණියන්ගේ  දොස         මුදා
අලද, කිරිබදු, මදුක හාතා වාරි දුන් අටින එක                   සිදා
නිබඳ පැමිනෙන රක්ත දොස හැර ගැබය රැකෙනුය  නිවරදා
(මෙම කවිවල අයිතිය වෛද්‍ය වසන්ත ලාල් වීරමන් මහතා සතුය.)



මෙසේ අතීත කවියත් සමඟ හෙළ වෙදකම බැඳී පැවතුනි. හෙළ වෙදකම සමඟ බැඳී තිබු තවත් එක් දෙයක් ගැන කතා කරන්න ඕනේ ඒ තමා රස වෙදකම... රස වෙදකම කියන්නෙ, කෙටියෙන් කිව්වොත් රසදිය භාවිතා කර සිදුකරන වෙදකමක්. රසදිය කියන්නෙ මිනිසාගෙ වකුගඩුවලට අහිතකර ලෙස බලපාන බැරලෝහයක්. නමුත් එදා හෙළයා ඒවයි විස නසලා ප්‍රයෝජනවත් කොටස පමණක් භාවිතයට ගත්තා. එහෙම විස නසන්න පුලුවන්ද? ඔව් ඕනෙම දේක විෂ නසන්න පුලුවන් තාක්ෂණයක් හෙළයාට තිබුණා. කැවොත් මැරෙන නියඟලා අලයේ ද විස ඇත්තේ දවසින් එක් කාලයකදී පමණයි. ඒ කියන්නෙ වෙලාවක් තියෙනවා නියඟලා අලයේ විස බහින... ඒ වගේ තමා ඕනෙම දේක විස නසන්න හෙළයා දැනන් උන්නා. මං තව උදාහරණයක් කියන්නම් රස වෙදකමට යන්න කලින්. ඔබ දන්නවා සරස්වතී තෛලය ගැන. දන්නවා කිව්වට දන්නෙ නෑනෙ අහලා ඇති. ඒක තමා දැනට තියෙන බලවත්ම තෛලය(මහා හෙණරාජය සහ රාජතරංගනියටත් වඩා... කොටින්ම කිව්වොත් මිනිහෙක්ට ඉගිලීමට තරම් බලයක් ලැබෙන බවයි සත්‍ය) ඉතිං මේ සරස්වතිය හදද්දි යොදාගන්නවා වෙඩි බෙහෙතක්... ගින්දර පත්තු කරන්න වෙන්න ඇති? නෑ නෑ එක අමුද්‍රව්‍යයක් තෛලයට එකතු කරන. අධික විස සහිත මෙය ඉඟුරු යුෂ සමඟ ගලේ අඹරා විස නැසිය යුතුයි.(වැඩිවිස්තර පසුවට) ඒ වගේ විස නැසීමේ ක්‍රම එදා තිබ්බා. ඉතිං රසදිය ගත්තාමත් ඒ වගේ තමයි. රසදියේ විස නසන්න බුලත්කොළ යුෂ සහ සුදුළූණු යොදාගන්නවා. එය නිසි ක්‍රමවේදයකට අනුව විස නැසිය යුතුයි. මීට අමතරව දශමූල කසායෙන් අඹරා රසදියෙහි විස නැසිය හැකි වේ. ඉතිං මෙහෙම විස නසාගන්න රසදිය විවිධාකාරයෙන් ඖෂධ සඳහා යොදාගනු ලබනවා.



දැන්තමයි අපි අපේ මාතෘකාවට එන්නෙ... මං දැන් කතා කරන්න යන්නෙ රාවණ නම් වූ වෛද්‍යවරයා ගැන. ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයකු ලෙස බොහෝ තැන්වල රාවණයන් පිළිගනු ලබනවා. හිමාලයේ පැවැත්වූ වෛද්‍ය සමුළුවලදී ඒවා රාවණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ බවට ලිඛිත සාක්ෂි තියෙනවා. මීට අමතරව රාවණයන් විසින් කුමාරතන්ත්‍රය(ළමුන් සඳහා රචනා වූ ලොව ප්‍රථම වෛද්‍ය ග්‍රන්ථය), ඔඩ්ඩිශතන්ත්‍රය , අර්ක් ප්‍රකාශය, නාඩි ප්‍රකාශය වැනි ග්‍රන්ථ රැසක් රචනා කර තිබෙනවා. වැදගත් දෙයක් කියන්න ඕනේ... මේ නාඩි ප්‍රකාශය සහ තවත් බොහෝ පුස්කොළ පොත් අධ්‍යනය කළ සුද්දා ඒවා අධ්‍යනය කරමින් මෙම නාඩි ශාස්ත්‍රයට තාක්ෂණය එක් කරමින් අදඒවා වෙළද පොළට එවනවා. තේරුනේ නෑනෙ? ඔබ අද පළදින... health band, health watch, heart rate monitor ආදිය හැදුවෙ අපෙන් උස්සන් ගිය තාක්ෂණයත් එකතු කරලා තමයි. රාවණයන් කියන්නෙ කුරා කුහුඹුවෙකුටවත් හිංසා කරන්න අකමැති අයෙක්. ඔහු තරම් සොබාදහමට ආදරය කළ අයෙකු නැති තරම්. ඔහු බටහිර වෛද්‍ය විද්‍යාවට ළංවෙන්න තියා හිතාගන්නවත් බැරි තරමට දියුණු වෙදකමක් බිහිකළා(දියුණු කළා). මිනිසාට හැදෙන , බටහිර වෛද්‍ය විද්‍යාවට නිට්ටාවට සුවකළ නොහැකි ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස්, ස්නායු ආබාධ, පිළිකා, වකුගඩු රෝග සහ ඒඩ්ස් වැනි මාරාන්තික රෝගවලට පවා නිට්ටාවට සුවකළ හැකි ඖෂධ පවතින්නෙ හෙළ වෙදකමේ පමණක් බවයි සත්‍ය. රාවණයන් දියුණු කළ හෙළ වෙදකමේ මිනිසාට ඇතිවෙන සියලු රෝග සහ අනාගතයේ ඇති වෙන්නට තියෙන සියලුම ලෙඩරෝගවලට ඖෂධ කළහැකි ක්‍රමවලින් සමන්විතයි. ඒ වගේම වැදගත් කරන්න එපා සිංහලයා මරණයටත් අභියෝග කළේ හෙළ වෙදකම තිබ්බ නිසා... පැය 72ක් ඇතුළත මැරැණ අයෙකුට පණ දිය හැකි විශ්මිත ඖෂධ මේ පිංබිම තුළ පැවතුනා, ඒ වගේම තාමත් පවතිනවා කියලා මං වගකීමෙන් කියනවා. හනුමන් ඉන්දියාවෙන් නෙමෙයි ඒවා ගෙනාවේ... සමනල කන්ද ආශ්‍රිතව තිබ්බ පුලස්ථි ඍෂි තුමාගෙ ඖෂධ වනයෙන්... ඒ වගේම ඊට අමතරව ඒවා වසරේ එක් කාලයකදී (කාලය කියන්නෙ නෑ) උණවටුනේ සිට කතරගම දක්වා වූ ප්‍රදේශයේ අදටත් පැලවෙනවා. මෙන්න වෙදකම... ඒකයි කියන්නෙ මේක විශ්වයේ බලවත්ම වෙදකම කියලා... ඇයි අද ඒකට මෙහෙම මැරෙන්න දෙන්නෙ??? එච්චර වටින දෙයක් අපි ලේසියෙන් නැතිකරගන්නවද? නෑ නෑ නෑ සිංහලයිනි! මේක මැරෙන්න කාලේ නෙමේ.



No comments:

Post a Comment