Saturday, April 11, 2020
රූපාවලිය අනුව තැණූ මකර තොරණ
මකර තොරණ වාස්තු ශිල්පයෙහි ලා සැලකෙන සුවිශේෂී අංගයකි. දෙපස මකර රූප දෙකක් සහිතව අලංකාර ලියවැල්, මල්කම් හා ගරාදි වැට, පේකඩ සහිතව නිමවන මකර තොරණ සෞභාග්‍යය හා ඉෂ්ටාර්ථයන් සංකේතවත් කරයි. මෙම සාම්ප්‍රදායික මකර තොරණක් යටින් යෑම පවා සර්ව උපද්‍රවයන්ගෙන් මිදීමට තුඩුදෙන කාරණාවකි. බෞද්ධ විහාර දේවාල ආශ්‍රිත චිත්‍ර මූර්ති ශිල්ප පවත්වා ගැනීම සඳහා සංස්කෘත බසින් ලියැවුණු කෘති රැසක් වෙයි.
මේ අතර වාස්තු විද්‍යාවේ සුවිශේෂි කෘති ලෙස මායාමතය, රූපාවලිය හා ශාරිපුත්‍රය සැලකේ. එකී ශාස්ත්‍රිය ශිල්ප විධි අනුව තැනුණු මකර තොරණක් පසුගිය දිනෙක ගොඩඋඩ සිරිසුමනාරාමයේ දී විවෘත කෙරිණි. ඒ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතාගේ පූර්ණ පරිත්‍යාගයෙන් හා අනුශාසකත්වය පෙරදැරිව ය. සිය මවුපියෝ සිහිකොට තැණූ මකර තොරණ පිළිබඳ අදහස ඔහු තුළට ආයේ බොහෝ කලකට ඉහත දීය.
ඒ සිය පර්යේෂණ කාර්යයන් හි නියුතුව සිටියදී ජයසේන කෝට්ටගොඩ මහතාට අපූරු පුස්කොළ පොතක් හමුවීමත් සමඟ ය. එය ශාරිපුත්‍රය, මයිමතය, සහ රූපාවලිය කෘති එක් ව ඈදා ලියූවක් වූ අතර බෙලිඅත්ත අගුල්මඩුවේ ප්‍රවීණ ප්‍රතිමා මූර්ති ශිල්පියකු වූ උභයරත්න මහතාට අයිතිව තිබිණි. එහි රූපාවලියෙහි 148 වන ශ්ලෝකයෙන් කියැවුණේ මකර රූපය නිමැවිය යුත්තේ කෙසේ ද යන්න යි.
ගජේන්ද්‍ර හස්තංච – කෘත පාද සිංහම්
වරාහ කර්ණණං - හනුමන්ත නේත්‍රම්
හරවාල දන්තං - හෘද මත්ස්‍ය දේහම්
විචිත්‍රය පත්‍රම් – මකර ස්වරූපම්
ශ්ලෝකයෙහි දැක්වෙන පරිදි හස්තියකුගේ හොඬයෙන් ද සිංහයකු ගේ පාද වලින් ද සමන්විතව මකර රූපය නිම විය යුතුය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ
ගම්මඩු, දෙවොල්මඩු ආදී යාගයන්හි දී තොරණ විස්තර ගායනා කිරීමට ප්‍රථමයෙන් මකර තොරණ පිළිබඳ ශ්ලෝක සන්න ගායනා කරයි. එවන් නිර්මාණාත්මක සන්නසක් පහත දැක්වෙයි. එය ගයත්‍රි ජන්දය හෙවත් අක්ෂර හයකින් සමන්විත ඉහත සඳහන් ශ්ලෝකය සිංහල බසින් මෙම සන්නස සකස්කොට ඇත.
“.... ගජේන්ද්‍ර හස්තං යනු කී හෙයින් කාලවක, ගංග්‍යෙය පාණ්ඩරතබ්බ, සිංහල, ගන්ධ, මංගල, හේම, උපෝෂත, ඡද්දන්ත යැයි කියනු ලද්දා වූ දශවිධ කුලයන්ට අධිපති වන්නා වූ ෂට් දන්ත කුල හස්තිරාජයාගේ හස්තම්බ්යන්න වූ සොඩක් ද, කෘත පාද සිංහම් යනු කී හෙයින් කාල සිංහ, පාණ්ඩු සිංහ, නර සිංහ, ක්‍රින සිංහ, කේසර සිංහ, යයි කියන ලද පංච ප්‍රකාර සිංහයන් අතුරෙන් සිවු පා ජාතීන්ට අධිපති වන්නා වූ කේසර සිංහ රාජයාගේ දෙපා දෙකකින් ද, වරාහ කර්ණණං යනු කී හෙයින් ක්‍රදී මාලා දියෙහි සුප්‍රකට වූ මහා රෝමයෙන් ගැවසී ගත්තා වූ ඌරෙකුගේ කන්වලින් ද, හනුමන්ත නේත්‍රම් යනු කී හෙයින්, චලිතා චලිත තරු ගහනව හැසිරෙන්නා වූ වඳුරෙකුගේ ඇස්වලින් ද, හරවාල දන්තං යනු කී හෙයින් හිරිකඩ ශෝභා වන්නා වූ කුරිරු ගැඹුරු ජලස්ථානයෙහි වාසය කරන්නා වූ කිඹුලෙකුගේ දත් වලින් ද, හෘද මත්ස්‍ය දේහං යනු කී හෙයින් කුරිරුතර ගැඹුරු ජලයෙහි වාසය කරන්නා වූ තිමිරය, තිමංගලය ආනන්ද යැයි කියන ලද මහා මත්ස්‍ය රාජයාණන්ගේ දේහ ශරීරයකින් ද, විචිත්‍ර පත්‍රම් යනු කී හෙයින්, උදාගිරි පර්වතය, අවරගිරි පර්වතය, හංස ගිරි පර්වතය, චිත්‍රකූට පර්වතය, මහා මේරු පර්වතය, රන්ගිරි
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් මකර තොරණ විවෘත කළ අයුරු
පර්වතය, මහා මේඝ පර්වතය යන සප්ත කූට පර්වතයෙහි වාසය කරන්නා වූ හංස රාජයාගේ පත්‍රවලින් ද, මකරස්වරූපම් යන මේ මකර තොරණ දක්වා මෙවැනි ආතුරයින්ගේ සර්වාන්තරාය සර්ව උපද්‍රව නිවාරණය කරනු පිණිස ජය මංගල්‍යයක් කරන සේක්වා...”
දෙපසට මකර රූප දෙකක් සහිතව මුදුන කිහිඹි මුහුණකින් සමන්විත වන මකර තොරණේ දෙපස දොරටුපාල රූප සහ සිංහ රූප සහිතව අලංකාර ලියවැල්, මල්කම් හා ගරාදි වැට, පේකඩ සහිතව මකර තොරණක් සැකසිය යුතු ය. බෞද්ධාගමික විහාර ආදියට ප්‍රවිෂ්ට වන ප්‍රවිෂ්ට ද්වාරවල මෙවන් ආරුක්කුමය තොරණ සැකසීම සෞභාග්‍යය ගෙන දෙන සහ ඉෂ්ටාර්ථය සඳහා බෙහෙවින් යෙදෙන සාම්ප්‍රදායික සැරසිලි මෝස්තරයකි. මෙවන් මකර තොරණක් යටින් යාම පවා රෝග නිවාරණය. සර්ව උපද්‍රව නිවාරණය සඳහා බෙහෙවින් බල පවත්වන බව ඉහත සඳහන් සන්නයෙන් පැහැදිලි වේ.
ඒ අනුව තැනුණු මෙම මකර තොරණට පෞරාණික බෞද්ධ කලාශිල්පයන් ගේ ආකෘති එක් කොට තිබීම තවත් සුවිශේෂත්වයකි. එසේම මෙම මහඟු නිර්මාණය ප්‍රදේශයටත් විහාරස්ථානයටත් කලාවේ පුනර්ජීවයටත් තුඩු දෙන බව ගොඩඋඩ සිරි සුමනාරාමාධිපති ශාස්ත්‍රපති දික්වැල්ලේ ධම්මවිලාස හිමියන් ගේ අදහස යි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment