Saturday, April 11, 2020

රාවණයන්ගෙ අසීමාන්තික ආදරේ හිමිකාරිය මංදෝදරී




මේ කතාව ගොඩ නැගෙන්නෙ බොහෝ දෙනෙකුගෙ අවධානයට ලක් නොවූ සිංහලේ රාජ්‍යයේ සිටි දැවැන්ත චරිතයක් වටාය. ඇය නමින් 'මංදෝදරී' වන අතර මහා රාවණ නිරිදුන්ගේ අපිරිමිත ප්‍රේමයේ එකම හිමිකාරිය ඇයයි.මෙම ආදර කතාව විකෘති කිරීමට ඉතිහාසය බොහෝ වෙර දරා ඇත. එයින් වාල්මිකි ඍශිවරයා රචනා කල රාමායණය ප්‍රබල තැනක් ගනී. නමුත් ඒ පිළිබඳව සිංහලයෙකු වශයෙන් සත්‍ය දැන සිටීම වැදගත්ය.



රාමායණයේ දක්වන ආකාරයට රාම රාවණ යුද්ධය හටගන්නෙ සීතා නම් ස්ත්‍රිය රාවණ විසින් ලංකාවට ගෙන ඒමත් සමගයි. මෙය වැරදි අර්ථකථනයක් ය. සැබවින්ම සීතා යනු රාවණයන්ට සහ
මංදෝදරියට දාව උපත ලද දූ කුමරියයි. ඒ ගැන පසුව කතා කිරීමට කල් තබා නැවතත් මංදෝදරියගෙ කතාව වෙත යොමු වෙමු.


ඇත්තෙන්ම මේ මංදෝදරී යනු කවුරුන්ද?



මංදෝදරී යනු ශ්‍රේෂ්ඨ රාවණ මහා නිරිදුන්ගෙ අග මෙහෙසියයි. 'මංදෝදරී' යන සංස්කෘත වචනයේ අර්ථය වන්නෙ " මෘදුවූ උදරයක් ඇත්තී" යන්නයි. පක්ෂපාතී ධර්මිෂ්ට බුද්ධිමත් හෙළ කාන්තාවක් වූ මංදෝදරීගේ නාමයෙන් පාපයන් දුරුවන බව එකල සිංහලයන් විශ්වාස කළේය. එසේම මංදෝදරී යනු මායාසුර හෙවත් මයදානයන්ගෙ එකම දූ කුමරියයි. මයදාන යනු එදා මෙදා තුර ලංකා ඉතිහාසයේ සිටි දක්ෂතම ගෘහනිර්මාණ ශිල්පියා හා අසමසම නිර්මාණශිල්පියා වේ. ලොව ප්‍රථම ගුවන්‍ යානය වූ දඩුමොණරය, සීගිරිය ආදි තවත් විශිෂ්ට නිර්මාණ බොහෝ ප්‍රමාණයක අයිතිකරු වන්නෙ මයදානයන්‍ ය. මරණයෙන් පසු ඔහුව විශ්වකර්ම හෙවත් විස්කම් ලෙස හැදින්වුණි. ඇගේ මව ආකාශ අප්සරාවක් වූ හේමාය. මේ නිසා ඇයව හේමප්සරා ලෙස හදුන්වයි.



සිගිරි අප්සරාවන් හා මංදෝදරිය අතර සම්බන්ධය


ආචාර්ය ගොඩකුඹුර ශූරීන් සඳහන් කරන පරිදි ‘ජනකතා’ පුරා විද්‍යාවේ ප්‍රධාන අංගයකි. රටක, පෙදෙසක හෝ ගමක වැසියන් අතර පවතින කතා අනුව ඇතැම් වැදගත් පුරාවෘත්ත සොයාගත හැකිය. මන්දෝදරී සහ රාවණ පිළිබඳව ඇති ඓතිහාසික සාක්ෂි සනාථ කිරීමට ප්‍රමාණවත් සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සුලභ නොවූව ද, රාවණ පුරාවත හා බැඳි බොහෝ ජනශ්‍රැතික මූලාශ්‍ර ලංකාව පුරා විවිධ ප්‍රදේශවල පැතිරී පවතී. සීගිරි බිතුසිතුවම්වල දක්නට ඇත්තේ මන්දෝදරී සහ ඇගේ පරිවාර ස්ත්‍රීන් බව ඇතැම් ඉතිහාසඥයන්ගේ විශ්වාසය වේ. ප්‍රදේශයේ පවතින ජනකවි තුළින් ද ඒ බව මනාව ප්‍රකට වේ.



සිගිරිය අවට ග්‍රාමීය ප්‍රදේශවල පවතින තේරවිලි කවියක්.

ප්‍රශ්නය:



සීගිරි ගලේ විල සැදුවේ      කවුරුන්දෝ

සීගිරි ගලේ රූ ඇන්දේ       කවුරුන්දෝ
සීගිරි රුවෙන් දිස් වන්නේ  කවුරුන්දෝ  
මෙතුන් පදේ විසඳන්නේ   කවුරුන්දෝ


පිළිතුර:



සීගිරි ගලේ රාවණ දෙවි විල   සැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා
සීගිරි රුවෙන් මන්දෝදරී  දිස්වෙනවා
මෙතුන් පදේ නිසි ලෙස මම විසඳනවා


මෙහි එන විස්කම් යනු මන්දෝදරීගේ පියා වන මයදානව නොහොත් විශ්මකර්ම වෙයි.


මදාරා කුසුම සහ මංදෝදරිය


දියණියක විවාහ කර දීමේ දී දායාදය පිරිනැමීමේ සිරිත මුලින්ම ආරම්භ කරන ලද්දේ මයදානව විසින් බව කියනු ලැබේ. ඒ මන්දෝදරී කුමරිය රාවණාට විවාහ කර දීමේ දී තමා සතුව තිබූ මහා බලසම්පන්න ත්‍රිශූලය සහ ඔහු විසින් නිර්මාණය කළ ලොව ප්‍රථම ගුවන් යානය වූ දඬු මොණර යන්ත්‍රය රාවණා රජු වෙත තිළිණ කිරීමෙනි. කෙසේවෙතත් විවාහයෙන් පසු කුවේර පරදා රාවණයන් සහ මංදෝදරිය අත්පත් කරගත් ආලකමන්දාවට වී ප්‍රීතිමත් දිවියක් ගත කළේය. රාවණ ඉතා දක්ෂ ලෙස වීණා වාදනය කළ කලාකාමී සුන්දර මිනිසෙකු මෙන්ම අතිදක්ෂ වූ වෛද්‍යවරයෙකු සහ පර්යේෂකයෙකු ද වූ බව පුරාවෘතවලට අනුව සනාථ වෙයි. ස්වකීය පරීක්ෂණවලින් එතුමන් ඖෂධ වර්ග නිපදවීය. තම පිය පාර්ශවයෙන් ලද පර්යේෂණ ඥාණය භාවිතා කොට රාවණයන්ට තමාට හැකි අයුරින් උදව් උපකාර කළේය. මදාරා මල යනු රාවණ රජුගේ ජීව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් නිපදවන ලද පුෂ්පයකි. එම පුෂ්පය රාවණ රජු විසින් මදාරා ලෙස නම් කරන්නේ මන්දෝදරී ඔහු වෙත පුදන ප්‍රේමය සහ සහයෝගය සදා අනුස්මරණය වීමට ඇයට පුදන්නා වූ උපහාරයක් වශයෙනි. මෙම මදාරා ශාකය ලංකාවට ආවේණික වූ ඉතා දුර්ලභ ශාකයක් වන අතර එයට කෘමීන් ආකර්ෂණය වන්නේ නැත. එසේම අලිඇතුන් මෙම මදාරා ශාකය අසලදී දණ නමන බවට විශ්වාසයක් පවතී. සැබැවින්ම අලිඇතුන් මදාරා ශාකයට අලිඇතුන් දමනය කිරීමට හැකි බව නූතන පරීක්ෂණ මගින් හෙළි වී ඇත. එසේම අතීත රජවරු අවි ආයුධ තැනීමට මෙම ශාකයේ දැව යොදා ගත් බව සදහන් ය. ඒ මගින් යුද්ධවලින් ජය ලබා ගත හැකි බවට විශ්වාසයක් තිබී ඇත.


මංදෝදරී සහ සීතා අතර සම්බන්ධය


මන්දෝදරී සහ රාවණගේ දරුවන් වූයේ මේඝනද හෙවත් ඉන්ද්‍රජිත්, ආථිකාය සහ අක්ෂය කුමාර යන කුමාර වරුන් ය. මන්දෝදරියට සොහේළි නමින් දූ කුමරියක් ද වූ බවට එක් පුරාවෘතයක් පවතී. මන්දෝදරී ප්‍රථම වරට ගැබ්ගත් අවස්ථාවේ, එකල හෙළ දීපයේ අතිප්‍රබල සෘෂිවරයෙකු වූ පුලස්ති විසින් අනාවැකියක් පළ කරන ලදී. එම අනාවැකිය වූයේ මන්දෝදරියට බිහිවන දරුවා මධ්‍යම රාත්‍රී 12ට පසුව බිහි වුවහොත් ඉන් අනාගතයේ දිනක මහත් වූ විනාශයක් සිදුවන බව යි. මන්දෝදරී බිහිකිරීමට සිටියේ නිවුන් දරුවන් ය. මධ්‍යම රාත්‍රිය ආසන්නයේ විලි රුදා ඇති වූ ඇයගේ ප්‍රථම දරුවා මධ්‍යම රාත්‍රී 12 පසුවන්නට පෙර බිහි විය. ප්‍රථම දරුවා කුමරෙකු වූ අතර ඔහුට මේඝනද නොහොත් ඉන්ද්‍රජිත් ලෙස නම් තැබීය. මන්දෝදරිගේ දෙවන දරු ප්‍රසුතිය මධ්‍යම රාත්‍රී 12න් පසු සිදු වූ අතර ඒ බිහි වූ දරුවා සුන්දර දූ කුමරියක විය. ඇය සොහේළි ලෙස නම් ලැබීය. පුලස්ති සෘෂිගේ අනාවැකිවල සත්‍යය බව හොඳ හැටි අවබෝධ කර සිටි රාවණ, දාරක ස්නේහය හදවතේ සඟවා සිව් හෙළයේ අනාගතය වෙනුවෙන් සිය ප්‍රිය බිරිඳට රහසින් කුඩා බිළිඳිය පැසක දමා මුහුදේ පා කර යැවූ අතර, එක් දරුවෙකු ප්‍රසුතියේ දී මිය ගිය බවට රජු සැමට සැල කර සිටියේ ය. විෂම නිවුන් දරුවන් ලැබීමෙන් පසුව සිය පවුලෙන් පිටත එක දරුවෙක් ඇති දැඩි විය යුතු බවට නියමයක් සහ චාරිත්‍රයක් ද එකල හෙළය තුළ පැවතුණි. කෙසේ හෝ පිට මං කළ බිළිඳිය සයුරු රළ මත හුදකලාවේ පැසක පාවී ගොස් ඉන්දියාවේ එක්තරා ගොවියෙකුට හමු වූ අතර, පැස විවර කිරීමේ දී රාජ වස්ත්‍ර සහිත සුන්දර බිළිඳිය දුටු ගොවියා ඇය රජ කුමරියක බව අනුමාන කර එකල ඉන්දියාව පාලනය කළ ප්‍රාදේශීය රජෙකු වූ ජනක රජුට කුමරිය බාර කළේ ය. ගොවියෙකුට හමු වූ කුමරියක නිසා නගුල යන අර්ථය සහිතව ඇය සීතා ලෙස නම් කළ ජනක රජු, ඔහුගේම දියණියක ලෙස කුමරිය ඇති දැඩි කළේ ය. පසු කලෙක ඇය, ජනක රජුගේ දියණිය වූ නිසා ජානකි ලෙස අපර නමකින් ද හඳුන්වනු ලැබිය. රාවණ සොයුරිය සුපර්ණකාට රාමගේ මලණුවන් වූ ලක්‍ෂ්මන් සිදුකළ බලහත්කාරී ව්‍යසනයට පලිගැනීමේ අදිටනින් ස්ත්‍රීන්ගේ වටිනාකම වටහා දීමේ අරමුණෙන් රාවණ විසින් මෙරටට පැහැරගෙන ආ සීතාව, අතීතයේ සයුරේ පා කර යැවූ රාවණගේ සහ මන්දෝදරිගේම දියණිය විය හැකි බවට ඉතිහාසඥයන් මත පළ කරති. කෙසේ වෙතත්, පලිගැනීමක් මත රැගෙන ආ සීතාව අපමණ සැප සම්පත් හා රැකවරණය සහිතව හා කිසිදු ලිංගික හිරිහැරයකින් තොරව රාවණ දැඩි ප්‍රේමයෙන් රකින්නේ ඇගේම දියණිය බවට හදුනාගැනීමෙන් පසුව බව අපට අනුමාන කළ හැකිය.



මන්දෝදරිගේ ආරාධනයෙන් රාවණා විසින් රචිත ග්‍රන්ථ



රාවණ විසින් රචිත ග්‍රන්ථ අතර; අර්ක ප්‍රකාශ, කුමාර තන්ත්‍රය (කුමාර චිකිත්සා), රසරත්නාකරය, වටිකා ප්‍රකරණය, උදිස්සා තන්ත්‍රය හා ඔඩිස්සා තන්ත්‍රය යනාදිය වඩාත් ප්‍රචලිත ග්‍රන්ථ වෙයි. මෙම ග්‍රන්ථ අතරින් අර්ක ප්‍රකාශය ලියැ වී ඇත්තේ රාවණ රජු සහ මන්දෝදරී අතර සිදුකෙරුණු කාව්‍යමය සංවාදයක් ලෙසිනි.



කුඩා දරුවන්ට වැළදෙන ලෙඩ රෝග සහ ඒවාට පිළියම් විස්තර කරමින් රාවණයන් කුමාර තන්ත්‍රය ලියනු ලබන්නේ, මේඝනද කුමරුන් කුස හොත් අවධියේ දී මන්දෝදරී දේවිය සිදුකළ ඉල්ලීමක් ඉටුකිරීමට ය. කුඩා දරුවන් හට වැළදෙන රෝග සහ ඒවාට පිළියම් සහිතව රචනා වූ ඉපැරණිතම සහ පුරාණ වෙද අත්පොත වන්නේ කුමාර තන්ත්‍රය නොහොත් කුමාර චිකිත්සාව යි.


මන්දෝදරී සැම විටම සිය සැමියාගේ අවශ්‍යතා සහ කාර්යභාරයන් නිසි ලෙස හඳුනාගනිමින් මනා අවබෝධයකින් සහ ස්නේහයෙන් රාවණයන්ට දිරි දෙමින් උපකාර කළ ආදර්ශමත් ස්ත්‍රී චරිතයක් ලෙස ඇය හා බැඳි ජනශ්‍රැතික කාරණා විශ්ලේෂණයේ දී මනාව පැහැදිලි වෙයි.



මන්දෝදරීට පෙම් කළ විභීෂණ


රාම රාවණ යුද්ධයේ දී රාම විසින් රාවණ පැරදවීම සිදුවන්නේ රාවණාගේ සොහොයුරෙකු වූ විභීෂණගේ පාවා දීම නිසාවෙනි. රාවණා කෙරෙහි විභීෂණගේ උරණ වීම කෙරෙහි බල පෑ හේතුව පිළිබඳ මන්දෝදරී විභීෂණ සහ රාවණා වටා බැඳුණු ජනප්‍රවාදයක් ද බැඳී පවතී. රාජ්‍ය පාලනයේ විවිධ ගැටළු, තීරණ සාකච්ඡා කිරීමට නිතර ගිරි මාලිගයට ආ-ගිය විභීෂණ, මන්දෝදරීගේ රූප ශ්‍රීයෙන් උමතුව ඇයට හදවතින් පෙම් කළ බවත්, ඇය විවාහ කරගෙන සිටින තමාගේ සොහොයුරු කෙරෙහි ඊර්ෂ්‍යයාකාරී ක්‍රෝධයක් ඇති කරගත් බවත් ඉතිහාසය පිළිබඳ අදහස් දක්වන ඇතැම් විද්වතුන්ගේ මතය යි. කෙසේ වෙතත්, රාවණා ඝාතනය කළ හැකි ආයුධ දෙක සහ ඒවා තබා තිබුණේ වේරම්බ වාතයේ බව දැන සිටියේ මන්දෝදරී සහ විභීෂණ පමණක් බව ද සඳහන් ය. එවැනි අතිශය රහස් කරුණු සහ රාවණාගේ දියුණු යුධ උපක්‍රම භාරතියන් අතට පත් වන්නේ විභීෂණ හරහා ය. එයට ඉහත මන්දෝදරී හා බැඳී ජනප්‍රවාදය ද හේතු වන්නට ඇති බවට අනුමාන කළ හැකිය.



රාම-රාවණා යුද්ධයෙන් අසරණ වූ, මන්දෝදරී


දුර ඈත ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම දැවැන්ත යුද්ධ සහ අරගලවල දී අවසානයේ අසරණ සහ දැඩි සේ චිත්ත පීඩනයන්ට ගොදුරු වන්නේ යුද්ධයෙන් මියගිය අයගේ ජිවත් වන මව්වරුන්, භාර්යාවන් සහ කුඩා දරුවන් ය. මන්දෝදරී ද ඒ සදාතනික දුක්ඛ සත්‍යයේ අතීත හිමිකාරියකි. රාම රාවණ යුද්ධයට තුඩු දුන් රාම කුමරුගේ බිරිඳ වූ සීතා, රාවණ විසින් පැහැරගෙන හෙළ දීපයේ රඳවා ගෙන සිටීමට හේතු වූ කාරණාව ඉහත දී පැහැදිලි කර ඇත. රාම-රාවණ සමග යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසුව කීප අවස්ථාවක දී ම මන්දෝදරී රාවණගෙන් සීතා නැවත රාමට බාර දෙන ලෙස ඉල්ලීම් කරයි. ඇය එලෙස සිදුකරනුයේ මහා විපතක පෙර සලකුණු ඇයට පෙරදීම දැනුණු නිසා විය හැකිය. නමුත් අවසානයේ සියල්ල නිමා වන්නේ මන්දෝදරී ලංකාපුරයේ වැන්දඹුවක් බවට පත් කරමිනි. සිය ප්‍රේමණීය සැමියා රාවණගේ නිසල සිරුර වැළඳ ගනිමින් මන්දෝදරී බොහෝ සේ හඬමින් වැලපෙන්නට ඇත. ඔහුගේ ප්‍රේමණීය මතකයන් නැවත නැවතත් තනිව සිහිපත් කරමින් ඇය මියෙන තුරුම දැඩි චිත්ත පීඩනයකින් පසු වන්නට ඇත. මන්දෝදරිගේ සැමියා කෙරෙහි වූ පක්ෂග්‍රාහි බව භාරතීය රාමායණයෙහි පවා එක් අවස්ථාවක ඇගයීමට පාත්‍ර කිර තිබීම සුවිශේෂී වූවකි. පෙර සඳහන් කරන ලද සීතා සහ මන්දෝදරී සම්බන්ධ පුරාණෝක්තිය සත්‍යය වි නම්, හුදෙකලා වූ මන්දෝදරිගේ පීඩනය තවත් බලවත් වන්නේ නොවේ ද? සීතාව භාරතීය කාන්තාවගේ පරමාදර්ශී චරිතයක් වූ අතර, රාවණ ඝාතනය කළ රාම, පාවා දුන් විභීෂණ, සහාය දුන් හනුමන් මෙන්ම ස්ත්‍රියක කුරිරු ලෙස හිරිහැරයට ලක් කළ ලක්ෂ්මන් ද දේවත්වයට පත් විය. රාවණ දුෂ්ඨ පාපිෂ්ඨයෙකු විය. මන්දෝදරි ද කාලයේ අසීමාන්තයේ කාටත් රහසේ සැඟ වී ගියා ය. රාමායණය හිස් මුදුනින් අගයන භාරත ගැති සමහරක් ලාංකිකයන් බොහෝ දෙනෙකු මන්දෝදරී යනු කවුරුන් ද වත් නොදැන සිටීම මහත් වූඛේදවාචකයකි. මන්දොදරිගේ චරිතය සතු ගුණාංග වූ දැඩි ඉවසීම සහ දරා ගැනීම, ත්‍යාගශීලිත්වය, සැමියා වෙත දැක් වූ අනුපමේය සහයෝගය සහ සෙනෙහස, බුද්ධිමත් බව මුළු මහත් ලෝකවාසී සියලු කාන්තාවන්ට ආදර්ශයක් වන්නා සේ ම, එවැනි කාන්තා චරිත ඉතිහාසය තුළ වැළලී යාමට නොදී මතු අනාගතය වෙත සංරක්ෂණය කිරීම ද අප කාගේත් යුතුකමකි.

No comments:

Post a Comment